ජිප්පි නෝනගෙ පංතිය

තුනේ පංතිය ළමයින්ගේ හැසිරීම ‘ඉතා හොඳ’ බව ඉස්කෝලේ ලොකු නෝනමහත්තයත් නිතරම කිව්වා. ඉඳලා හිටලා කොච්චර කෑ ගැහුවත්, දඟ කෙරුවත් පංති බාර ජිප්පි නෝනට පුළුවන් ඕනම වෙලාවක තප්පර පහක් ඇතුලත ළමයි පාලනය කරගන්න. පංතිය දිහා බලලා දකුණු අත උස්සපු වහාම ළමයි නිහඬ වෙනවා. ඉක්මනින් තම තමාගේ පුටුවල වාඩි වෙන ළමයි වහාම ගුරුවරිය දිහා ඇස් යොමු කරන්නේ මහත් සැලකිල්ලෙන්. ළමයින්ට තේරෙනවා ජිප්පි නෝනා වැදගත් යමක් කියන්න ලෑස්ති වෙන බව.

ජිප්පි නෝනට තුනේ පංතියේ ළමයි හරිම ආදරෙයි.

අද විශේෂ දවසක්. ජිප්පි නෝනා පංතියට ආවේ පරක්කුවෙලා; විනාඩි තිහක් පරක්කුවෙලා. මේක කවදාවත් වෙන දෙයක් නෙවෙයි. ලොකු නෝනමහත්තයත් ඇවිත් පංතිය දිහා බලලා ගියා සීනුව වැදිලා විනාඩි දහයකට පස්සේ.

සුපුරුදු ‘ආයුබෝවන්’ ආචාර වලින් පස්සේ ජිප්පි නෝනා කතා කරන්න පටන්ගත්තේ ළමයි වාඩිවෙන්නත් ඉස්සර.

“කෙලින් වාඩිවෙලා මං කියනදේ හොඳින් අහගන්න…”

ළමයින්ට තේරෙනවා ජිප්පි නෝනගෙ කට හඬේ වෙනසක්. හෙම්බිරිස්සාවක් වගේ. ඇස් දෙකත් ටිකක් රතුයි, මලානිකයි.

“… මට පොඩි හිසේ කැක්කුමක් … මගෙ උගුර ටිකක් රිදෙනවා… වැඩිය කතා කරන්න අමාරුයි… ඒ නිසා අද අපි අලුත් විදිහේ පංතියක් තියන්නේ…”

ජිප්පි නෝනා මල්ලෙන් බෝතලයක් එලියට අරගෙන වතුර උගුරක් බිව්වා.

“… අද තියන අලුත් පංතියේ මේස නෑ… පුටු විතරයි. ඒවා රවුමට තියලා ඔයාලා වාඩිවෙන්නේ… එතකොට ඕන කෙනෙකුට කෙලින්ම අනික් අයට කතා කරන්න පුළුවන්… අපි දැන් ඒ රවුම හදමු…”

ළමයි වහාම නැගිටලා හොඳින් පුහුණුව ලැබූ සොල්දාදුවෝ වගේ මේස අයින් කරන්නත් පුටු සකස් කරන්නත් යෙදුනා. පංතියේ ‘සතියේ මොනිටර්’ වූ ඩිංගිරිඑතනා විතරක් ජිප්පි නෝනා ලඟට ආවා.

“…අ… මිස්… කොහොමද ලෙඩ හැදුනේ මිස්?...,”

ජිප්පි නෝනා පොඩි හිනාවක් පෙන්නුවා.

“… මේකයි ඩිංගිරිඑතනා… මගෙ මල්ලී ඊයේ රට ඉඳන් ආවා… කාලෙකට පස්සේ… ඉතින් රෑ හුඟාක් ඇහැරලා හිටියා… ආයෙ රටින් ගෙනාපු සැර කොකා කෝලා බිව්වා… හෙට වෙනකොට හොඳවෙයි… තැන්ක්යූ ඇහුවට… දැන් ගිහින් සේරටම රවුමට වාඩිවෙන්න කියනවද?”

“අද අපි අලුත් රටක් හදනවා… අපිට ඕනෑ විදිහට…”

ළමයින්ගෙ මුහුණුවලින් කියවුනේ ‘අද වෙන්නේ මොනවද දන්නෙ නෑ හැබැයි මොකක් හරි මාර එකක් තමා වෙන්න යන්නේ!’ කියලා - ඔවුන්ට පුරුදුයි ජිප්පි නෝනගෙ වැඩ.

“අපි හදන රටේ මුහුද, ගංගා, කඳු, කැලෑ, නගර… ඔයාලට හිතන්න පුළුවන් ඕනම දෙයක් තියෙනවා… ඕන නම් ගිනිකඳු, කාන්තාර, හිම එහෙමත් තියෙනවා කියලා හිතා ගත්තට කමක් නෑ”

ළමයින්ගෙ අදහස් පියාඹන හැටි ජිප්පි නෝනට පෙනෙනවා වගේ ඊලඟට කතා කරේ.

“ගහකොළත් එහෙමයි, සත්තුත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි - තමාට ඕන විදිහට… හැබැයි මම එක දෙයක් කියන්නම්… හොඳටම හිතට ගන්න ඕනෑ එකම දේ… “

“… කාටවත් කොයි විදිහකවත් හානියක් වෙන්න දෙන්න බෑ… ඒ කියන්නේ… යුද්ධ කරන්න බෑ… කැලෑ ගිනිතියන්න බෑ… සතුන්ට හිංසා කරන්න බෑ…. අපි හදන රට සේරටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් වෙන්න ඕනෑ…”

පොඩි නිහඬ තාවයක්.

“අපි අද් දවසම මේක කරලා, ඉස්කෝලේ ඇරෙන්න ඉස්සර බලමු කොයි වගේ රටක්ද අපි හදන්නේ කියලා… මොනවත් ප්රශ්න තියෙනවද?”

ඩිංගිරිඑතනා පලවෙනි ප්රශ්නය ඇහුවා.

“මිස්… ඒ රටේ නම මොකද්ද මිස්?”

“හොඳ ප්රශ්නේ…රටේ නම තෝරන්නෙත් මේ ළමයි! ඉස්සරවෙලා රට කොයි වගේද කියලා තීරණය කරලා, ඊට පස්සේ නමක් තෝරාගත්තොත් තමා හොඳ”

චාර්ලිස් ඇහුවේ ඊට වඩා යෝගික ප්රශ්නයක්.

“මිස්… රට කොයි වගේද කියලා තෝර ගන්නේ කොහොමද මිස්?”

“තවත් හොඳ ප්රශ්නයක්…”

ඊලඟ විනාඩි දහය ගතවුනා ළමයින්ට රටක හොඳ නරක ගැන කියලා දෙන්න. ජිප්පි නෝනා කීප සැරයක් වතුර බිව්වා වගේම නළල අතගෑවේ ඇස් වහගෙන.

“… දැන් වැඩ පටන් ගන්න හොඳයි… ඩිංගිරිඑතනා ළමයි හරියට හැසිරෙනවද කියලා බලා ගන්න… කාටවත් ප්රශ්න තියෙනවානම් චාර්ලිස්ගෙන් අහගන්න… මේ ‘රටක් හැදීම’ පාඩමේ අන්තිමේ ඩිංගිරිඑතනයි චාර්ලිසුයි මුළු පංතියටම කියනවා අපෙ අලුත් රට ගැන… තේරුනාද?.... දැන් මම ලොකුනෝනමහත්තයගෙ කන්තෝරුවට යනවා විනාඩියකට…”

………………………………..

ඉස්කෝලේ අවසාන සීනුව වදින්න පැය බාගෙකට ඉස්සර ජිප්පි නෝනා ළමයින්ට ‘රටක් හැදීම’ පාඩම අවසාන කරන්න පංතිය ඇමතුවේ පලමුව දකුණු අත උස්සා ළමයි නිහඬ කිරීමෙන් පසුවයි.

“දැන් අපි මේ පුටු පිළිවෙලට තියලා ඩිංගිරිඑතනයි චාර්ලිසුයි කියන දේ අහමු”

විනාඩි තුන හතරකින් මේස පුටු පිළිවෙලට සකසලා චාර්ලිස් පුටුවෙන් නැගිට්ටා.

“අ… මිස්…. අපි ඉස්සරවෙලාම බැලුවා කොයි කට්ටියකට වත් … අ… අමාරුවක්… අ… හානියක්… නැති කරන්නේ කොහොමද කියලා… කට්ටියක් කියන්නේ සත්තු ජාතියක්… ගස් ජාතියක් වගේ ටිකකට. එතකොට සෙනෙහෙලතා කිව්වා මිනිස්සුත් කට්ටි ඉන්නවා කියලා - ගෑනු පිරිමි, සිංහල දෙමළ, මුස්ලිම් ක්රිස්තියානි, එහෙම එහෙම හුඟාක් කට්ටි ඉන්නවා… ආයෙ අඩුකුලේ වැඩිකුලේ වාගේ. එතකොට තමා ඩිංගිරිඑතනා කිව්වේ වෙනස් කට්ටි ඉරි ගහලා වෙන් කරමු කියලා…”

චාර්ලිස් වාඩි වෙන්නත් ඉස්සර ඩිංගිරිඑතනා නැගිට්ටා.

“… අ… මිස්… අපි ඉරි ගහනවා කිව්වේ කට්ටි වෙන් කරන්ට නෙවෙයි, අර කෙල්ලෝ එක පැත්තකටත් කොල්ලෝ අනික් පැත්තටත් තල්ලුකරලා වගේ… නෑ. මිස්… අපි හිතුවේ අපි හිතෙන් ඉරි ගහ ගත්තොත්… එතකොට අපි කවුද කියලා අපිට හරියටම තේරෙනවා කියලා… මිස් … මම ඉන්නේ සිංහල කතා කරන, අම්මයි අප්පච්චියි ගොයිකම් කරන, ගමේ වරිච්චි ගෙදරක… එහෙම ඉරි වල එක පැත්තක… නිමල් ඉන්නේ සිංහල කතා කරන ටවුමේ පාර අයිනේ ගෙදරක, ආන්ඩුවේ රස්සා කරන… තවත් එක එක ඉරි ජාති ගොඩක එක පැත්තක… සමහර ඉරි වල නිමලුයි මමයි එක පැත්තක, අනික් සමහර ඉරිවල අපි දෙපැත්තේ… හරි හුඟාක් වෙනස්කම්… මිස්…”

ජිප්පි නෝනා ළමයි දිහා බැලුවේ හිනා මුහුණින්; හිසේ අමාරුව හොඳටම අඩුයි වගේ.

“බොහොම හොඳයි! මට හරිම සන්තෝසයි. මුළු පංතියම ඉතා හොඳ වැඩ ගොඩක් කරලා තියෙනවා! අපි විනාඩිය බාගයක් අප්පුඩි ගහමු!”

තත්පර තිහකට පසු දකුණු අත ඔසවා පංතිය නිහඬ කළ ජිප්පි නෝනා නැවතත් කතා කළා.

“දැන් ළමයින්ට තේරෙනවද අපි සේරම ටික ටික වෙනස් වගේම ටික ටික එක වගේ කියලා? ඒක එක එක්කෙනාගෙ වැරැද්දක් නෙවෙයි - ඒ අපේ හැටි. මුළු ලෝකෙම එහෙමයි! අපි වෙනස් හරි එක වගේ හරි කියලා තරහ වෙන්නවත්, රන්ඩු කරන්නවත්, ඉරිසියා කරන්නවත් ඕන නෑ… එහෙම නේද? අපි හොඳ රටක් හදනකොට අද ඔයාල හොයාගත්ත දේ තේරුම් ගන්නම ඕනෑ. ඒ ගැන මට හරි සන්තෝසයි… අන්තිම ප්රශ්නේ… රටට නමක් තෝරා ගත්තද?”

චාර්ලිස් පුටුවෙන් නැගිට්ටා.

“මිස්… අපි නම් ටිකක් බැලුවා … පස්සේ ඔක්කොම කිව්වේ ටිකිරා දීපු නම තමා හොඳ කියලා මිස්…”

චාර්ලිස් වාඩිවෙන්නත් ඉස්සර ටිකිරා හිටගත්තේ කට පුරා හිනා වෙමින්.

“මිස් අපි ආසියාවේ… ඉතින් ඉරි ගහලා හදපු රටට අපි නම දැම්මේ ඉරිසියාව කියලා!”